4.1.11

අම්මා


තරු කැට දිලෙනා මැදියම 
පුරා හඳයි අම්මා
සිත සුව කර සෙත සෑදු 
සෙත් කවියයි අම්මා
සමාධි බුදු රුව තුල දිසි 
කරුණාවයි අම්මා
මල් පුද ලද කිරි බැබලෙන 
කිරි වෙහෙරයි අම්මා

මල් අතුරපු යහනාවක 
මා නිදි කර අම්මා
සුරසැප මගේ ලොව පාමුල 
රදවා නිති අම්මා
සෙනහස නොඅඩුව බෙදනා 
උල්පත නුඹ අම්මා
බුදුරදු දෙසු සිව්බඹ විහරණයයි 
නුඹ අම්මා


පබලු

1.1.11

කාලය පියඹලා ( New Year 2011 )

තුඩින් ගත් සිනහා මල් 
දස අතම විහිදලා
කාලයේ කුරුල්ලා 
ඉගිල යයි තටු සලා.....

එක දිනක් ගෙවෙන විට
තව දිනක් පායලා
දුක සතුට නෙත් අතර 
රැදෙයි වෙනසක් වෙලා ....

උදා වුනු නව වසරේ 
සතුට මුව රැදෙවෙනා 
නැවුම් පැතුමන් ගෙනෙන 
ආසිරි මල්ය මේ දිලිහෙනා......

ඔබ සැමට ලැබුවා වු 2011 සාමය සතුට පිරි නව වසරක් වේවා!!

පබලු