22.12.10

අපි හමු වුනේ එහෙමයි


මේ මල් පිපෙන්නේ කොහොමැයි
මේ රළ බිදෙන්නේ කොහොමැයි
මේ තරු දිලෙන්නේ කොහොමැයි
අපි හමු වුනේ එහෙමයි.....

සිහින දකින්නේ අපිම නම්
සිහින පිපෙන්නේ මෙහෙම නම්
මා සිත පිරිමදින්නේ නුඹම නම්
නෙතට කඳුලක් කුමට දැන්.....

පබලු

8.12.10

සිඳගන


මන්දාරම් මල් වියන් මැදින්
සිඳංගනා නුඹ ඇවිත්
හදවතේ නොයිඳුල් තැනක
නැවතුනා දෝ හෙමින්
නීල දෙ නයණ මා හිත සනසන
බලා සිටියෙමි හොරෙන්

සෙමෙන් රඟ දෙන සියුම් කෙහෙරැළි
සිබින කම්මුල්
මතක තුරු හිස් අගින් ඉස්සී
කරයි හද සක්මන්
පිපුණු අරවින්දියකි සිඳගන
මා හිත ගත් ඉක්මන්

පායනා තරු දහස් අතරට
සඳවතිය පායා
එළිය කල මගේ අහස් වියනම
සිනහා කැන් ඉසලා
නලල මත රැදි මගේ හාදුවේ
උණුසුමක් දැනිලා
සිඳගනා මගේ ළඟම රැදුනා
නෙතට නෙත තියලා

පබලු

19.11.10

හුස්ම තරමට ලංවෙලා


හුස්ම තරමට ලංවෙලා
අනේ නුබ හරි දුර ගියා
සුසුම් අහුරක හැංගිලා
නේක වර සිත සක්මන් කරා

සකුණ ගී තුරු හිස් මතින්
ඇසෙන මුදු මී බිදු ස්වරෙන්
මා සිත හඩ ගා ගැයු ගීතය
රැව්දුනා ඉහිලුම් ස්වරෙන්

සුපිපෙති මල් නෙක රැසින්
ගෙනෙයි මෘදු සුවදත් කෙමෙන්
ම'සිත පතුලෙහි නැගෙන සුසුමට
ගිලිහුනා පෙති සීරුවෙන්

පබලු

7.11.10

සිතුවිලි තුල නුඹ ලැගුම් ගනී..

පහනකි ඔබ මට
සිතුවිලි එළිකල
නුඹ ලඟ මා නතර වුනි...

කදුලක මතකය
දුරකට විසි කර
සැනසුම ගෙන
සිත පතිත වුනි....

මොහොතින් මොහොතම
මා සිත නතුකර
සිතුවිලි තුල
නුඹ ලැගුම් ගනී...

පබලු

11.10.10

නුඹේ ලග මම රැදුනි...


හීන ගෙත්තම් කරමි
නුඹේ මුව පිරිමදිමි
විමන් දොර බිද හරිමි
නුඹේ ලග මම සරමි...

මහද විල මල් පිරුනි
නුඹට පුද දෙමි බැතිනි
නොදුටු සුර පුර මවමි
නුඹ වෙතම මම බැදෙමි...

සුනිල් විල දිය පිරුනි
සිතුම් දලු ලා වැඩුනි
අනන්තය දුර නොවුනි
නුඹේ ලග මම රැදුනි...

පබලු

14.9.10

මල් වැසි වස්සන්නම්


සද හිනහෙන යාමෙක
ඔබ හමුවේ නම්....
උණුහුම් ලය මත
හෙමිහිට සැතපෙන්නම්....

රවටා තරු කැන්
මුව සිපගන්නම්....
හෙමිහිට හෙමිහිට
නුබ වත දැවටෙන්නම්....

වන අරනක සිසිලස
ගෙන ඒ නම්....
ඔය දැතට සිරවී
මම සැනසෙන්නම්....

පිනි සීතට තව තව
නුබ ලං වේ නම්....
තරු පීදුනු අහසෙත්
මල් වැසි වස්සන්නම්....

පබලු

7.9.10

බොළද හීනය


දෙ අත් පටලා වීදියේ
එහාකොන ඇවිද යන්නට
දැස් පටලා ලෑලි බංකුවේ
බොළද හීනය මට දකින්නට
දිනක් නැති බව දනිමි මුත් මම
පතන අමයුරු පැතුම නුබමය

හිතක් ඇති නැති
නපුරු කම රැදි
ලොවක් අභියස
කදුලු කැට පොදි
හිමිව ලතැවෙන්නට
දිනක් ඇති
බවක් දැන දැන
නුබව පතනෙමි

මළත් කම නැති
දෙවුර මත ඔය
සියුම් වදනක්
සෙත් පිරිත් වන
උපන් සහසක්
පැතුම් පොඩි කර
නොඑන නින්දේ
වැතිර ඉකිලන
මමයි නුබවම
පතා ලතැවෙන

පබලු

29.8.10

සදවතී


රෝස යහනෙ සැතපිලා
ඉන්නවා නම් ගුලිවෙලා
සෙනෙහසින් තව ලන්වෙලා
සිපගනිමි ඔය නෙත් වසා

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

සියුම් අතැගිලි උණුහුමයි
අකුරු කල කුලුදුල් පෙමයි
පීදි තරු ඇස් නුබේ තමයි
සිතත් දොඩමලු වෙන හැඩයි

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

නෙතු පියා දැහැනට වැදී
හීන අතරින් පාවෙවී
ඇන්ද සිත්තම් වල එතී
පාවෙලා යමු සදවතී

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

පබලු

19.8.10

මම කල්පය පහන් කලා


සිතුවිලි දඟ කෙරුවා
නුබ එන පෙරමං බැලුවා
හසරැල් නෙත රැදුනා
නුබ සුවද ලග දැනිලා

පැතුමන් හද පුරවා
නුබේ උණුහුම මම පැතුවා
සද තරු අහස වසා මුත්
සෙනෙහස දෝරේ ගියා

නිල් පිණි පලසක් එලලා
මුදු සීතට සිත දැවුනා
ඔය හිත යටට වෙලා
මම කල්පය පහන් කලා

පබලු

12.8.10

පින් පුරන සමන් මල මමය....


පොළව සිබින හිරු කිරන,
නුබයි මහද සනසවන....

තුරු අරන සිඹින මදපවන
නුබයි සිසිල ගෙන වැඩිය....

ඉරි තලා වියලි සිත් කතර
සනසන්න ගැලුව දිය දහර
නුබයි සැදුවේ රන් විමන
පහන් සිලකි මම සැලුන....

ගනදුරට එලිය ගෙන වැඩිය
සිසිකිරණ නුබයි තරු අතර....

පිපි පියුම් මතින් නුබ වෙතට
පින් පුරන සමන් මල මමය....

පබලු


2.8.10

තනියම තනිකම වින්දා


නුබට හොරෙන් නුබ හින්දා
සිහින ගෙතුවේ මම හින්දා
මගේ හීනය මියැදුන දා
තනියම තනිකම වින්දා

මනමාළිය නුබ කැන්දා
යනු බලන්න බැරි හින්දා
දාහක් ගිනි හිත රන්දා
තනියම තනිකම වින්දා

සුර විමනක නුබ රන්දා
ඈ එහි දෙව්ලිය වන්නා
නොලැබුන පැතුමක් හන්දා
තනියම තනිකම වින්දා

පබලු

17.7.10

උණුසුමට ගුලිකර ගනුමැන ලැමේ....


නුබ සිතට ආ ඇසිල්ලේ
පෙම පිරුනි සිත් කොදෙව්වේ
දුර නොයා නුබ තුරුල්ලේ
සැනසුනෙමි නෙතු පියල්ලේ

රැයේ දුටු සුභ සිහිනයේ
හිතින් දොඩමලු වුන ප්‍රියේ
ලගම රැදෙමින් අනන්තයසේ
හිදුනු මැන මට පහන්වැට සේ

පාය ආ තරුවක් ලෙසේ
දිලි දිලී මා හිත වටේ
හිමින් සතපා නුබ ලයේ
උණුසුමට ගුලිකර ගනුමැන ලැමේ

පබලු


5.7.10

මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු


යශෝදරාවිය, නුබ මව් ඇකයේ වැදි
පුතුනේ නිදනවද කුමරුන් රාහුල සදිසි
සෙනෙහ ගඟුල ගලනවා නිම් හිම්නොදැනි
පුතුනේ නුබයි දුන්නේ මව් පිය පදවී

තව් තිසාවේ සුර අගනුන් මෙහි වැඩලා
හීනෙන් නුබ හිනා උනාඒ දැකලා
අම්මා ගයන නැළවිලි ගී රස දැනිලා
සමන් පිච්ච මල් පිපිලා හිනා වුනා

කිරි කර පොවන්නේ මව් ලය පිරි රුහිරු
මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු
සැනසුම නුබයි පුතුනේ අප හට සොදුරු
කවි කර ලියන්නේ සෙනෙහස පුතුට පිදු

පබලු

28.6.10

මතක සුවද ඔබයි


සිනා ඉසින
සිත සනසන
මියුරු ගීය ඔබයි

පමා නොවී
හිතට එබෙන
මලේ සුවද ඔබයි

දමා නොයන
ලගම රැදෙන
මගේ හීනය ඔබයි

සදා මහද
රැදී තියන
මතක සුවද ඔබයි

පබලු

21.6.10

හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ


සිත් විල පිපි
අරවින්දය සේ.....
ඇහැරෙන විට පෙති
එකි නෙක රහසේ.....
මිටි කරගත්තෙමි
සෙනෙහස දෝතේ.....
වාන් දමන විට
සද දිය අහසේ.....

භවයෙන් භවයට පෙරුමන් පිරුවේ
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
ළෙංගතු පෙම් මල් සිත තුල පිපුනේ
පියා සලන විට විහඟුන් අහසේ

පබලු

16.6.10

මලක් මෙන් පිපි ඇගේ ලෝකය


ඉහිරෙනා කිරි සුවද අතරින්
අදරේ සිත වෑහිලා
මගේ ආදර චූටි නංගියා
ජීවිතේ සුව සොයනවා

විජිතයේ අපේ පුංචි දෙව්දුව
ලොකු වෙලා දෝ හැගෙනවා
මලක් මෙන් පිපි ඇගේ ලෝකය
තැලෙයිදෝ බය හිතෙනවා

ඇගේ සිත වැසු දුහුල් සලු පට
උනන්නට හිත කියනවා
ප්‍රේමයේ සුව නොදනීද නුබ
අසයි දෝ බය හිතෙනවා

පබලු

9.6.10

ඔය දෑස් අග මම හීනයක් ඇන්දා


හිනාවෙන ගහ කොළත්
කතා කියන ඇළ දොලත්
ඈ පමා වුනත් අද ඉතින්
මම හීනයක් ඇන්දා .......
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා

මුදු සිනහා මවෙත හෙළලා
සිත පුරා හැගුම් පුබුදා
සැගවුනත් පැතුම් පුරවා
සද තරුත් මගෙයි හිතුනා
මම හීනයක් ඇන්දා .....
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා

ඈ මලක් වෙලා පිපුනා
ඒ සුවද මහද රැදුනා
මම ඇන්ද හීනය පුරා තව
පාට රටා මැවුනා
මම හීනයක් ඇන්දා ...........
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා

පබලු

4.6.10

මතක එක් තැන් කරන් ඇස් ලග



මතක එක් තැන් කරන් ඇස් ලග
නැවතුනා මම සසර සැරි ලෙස
සියොලගම සනසනා නුබේ පෙම
සතපවා ගති සිතෙහි බැතියෙන

යොමා නුබ වෙත පිදු සෙනෙහස
දරාගන්නට නොහැකි ලෙස අද
හිතේ අනිකට ඉඩක් නැති ලෙස
බැදී ඇත්තෙය නුබේ සෙනෙහස

පවුරු නම් ඇත බොහෝ අප වෙත
නමුදු කම් නැ නොතැවි සිටියෙන
දිනක ඔබ වෙත එන්න පින් ඇත
කියා සැනසෙන හිතම බොළදද..?

පබලු

23.5.10

රන් තරුත් සැගවුනා හීන් සීරුවේ....









මල් පෙතිත් සියුමැලියි
මගේ හිතත් පිවිතුරුයි
හද හාවියේ....

රන් තරුත් දොඩමලුයි
නුබේ නෙතුත් පින්බරයි
ලියු කවිය නුබ ගැනයි
මගේ පෙම්බරෝ....

සද සිසිල තව දැනෙයි
නුබේ සුවද මට දැනෙයි
ලග පාත කවුරුවත්
නැති මායිමේ ....

නුබ ඇවිත් හිමි හිමින්
හිස සිම්බා හෙමින්
හිමි හිමින්
රන් තරුත් සැගවුනා
හීන් සීරුවේ....

පබලු

5.5.10

හීන අරන් ඇ එනවා - නිදි නැති හැම රැය


කතා කරන ඔය ඇස් ලග
හීන හදාගෙන
පෙරුම් පුරන්නද පිපෙන්න
හිත අද්දර පෙම..

සමන්පිච්ච මල් සුවදින්
හිතත් සුවද කර
ජීවිතේම ලගින් ඉන්න
පින් පුරන්නේ මම

තරු වටකර දිල්ලිසෙන සද
සඳ දෙව්දුව අද
හීන අරන් ඇ එනවා
නිදි නැති හැම රැය

පබලු

23.4.10

නුබට සිතින් පිදුව සෙනේ..


ගලන ගගක
සැලෙන ගසක
සිසිල රැගෙන
නුබ එන විට

මහද සිතුම්
සිතක පැතුම්
දලු ලා යළි
වැඩෙනා විට

නුබට සිතින්
පිදුව සෙනේ
නුබ ලඟ
ඔච්චම් වෙනවිට

මහද විලේ
පිපුන පියුම්
මැලවී යලි
බිම වැටුනම

සිත හැඩුවා
මම හැඩුවා
පරමල් සුවදක්
හැමුවා


පබලු

9.4.10

හරි මහන්සියි


නින්ද අහලකටවත් නොඇවිදින්
ඇස් වලට හරි මහන්සි මගේ
සිතට නුබ නිතර ඇවිදින්
මගේ හිතට හරි මහන්සියි

හිස් අහස බලගෙන
නුබෙ රුව පෙනේදැයි
බලන් ඉදලාම
මට හරි මහන්සි

මගේ ලගට ඇවිදින්
මට ඉතිරි කර ගිය
දුක දරාගන්න බෑ
මට හරි මහන්සියි

පබලු

29.3.10

හිත ඉඹින්න ආසයි මට


තනි මකන්න මම එන්නද
රන් තරුවක හැංගිලා
හිත ඉඹින්න ආසයි මට
ආදර තොල්පෙති තියා

දාස් පෙතියා මල් පොකුරක
සුවදේ මට සැඟවිලා
නුබේ ලගින් පාව යන්න
ආසයි පවනක් වෙලා


පබලු

22.3.10

නුබගේ සුවදට - වසග වි සිත


නුබගේ සුවදට
වසග වි සිත
ඉනු කදුලැලි
නෙත් පුරා....

ලැබුනු දුක් බර
අතීතය ඇත
තවම තනිවී
හිත පුරා....

කදුලු කැටයක
හිනා අහුරක
සුවද මතකය
හිත දරා ....

අහිමි ප්‍රේමයේ
ඉකි බිදුම මැද
තනිවෙලා.....

පබලු

10.3.10

හිත අද්දර හීනයක් වෙලා ඇවිත්


හිත අද්දර හීනයක් වෙලා ඇවිත්
නෙත අද්දර කදුලක් නවතා

සුදු මැණිකේ නුබ යනවද
මගේ පෙම් හිත රිදවා

පෙරුම් පුරපු හැම කල්පෙම
ලඟින් ඉදන් මා සැනසු
සුදු මැණිකේ නුබ යනවද
දුක් කදුලක් නෙත රදවා

සුදු මැණිකේ නුබ ගියාම
නෙත රැදි කදුලෙහි උණුසුම
ගිනි කන්දට වඩා වැඩිවි
මගේ ජීවිතෙ අලු කරාවි

පබලු

14.2.10

ප්‍රේමය.......


නොසිතු ලෙස
හිත තුල ඉපදි ප්‍රේමයේ
අවසන් සුසුම් පොද
නොසිතු ලෙස
හෙලන යුරු දැක
කිමදැයි
නෙතු අගට
කදුලු කැට නො ආවේ.......

පබලු

3.2.10

අතීතයේ අප - සොදුරු මතකයන්


දුටුවත් ඔබ අද

කලකට පසු මම

සුපුරුදු ලෙස ඔබ

පිය මැන්නා...


සිනහව මුවගට

එක් කලමුත් නුබ

මා වෙනතක් දෙස

නෙත් හෙලුවා...


ඔබ ගැන මතකය

මගේ හදවතේ

සිතුවම් මවමින්

ඉගිල ගියා...


අතීතයේ අප

සොදුරු මතකයන්

කදුලු බිදක් වී

ගලා ගියා...


Chamal

27.1.10

කදුලු හැන්දෑවක්ම


කදුලු හැන්දෑවක්ම

නෙතු පියන් පුරවද්දි. . . . .

ආදරේ දුක්බරම

සුසුම් පොද

හිත් ගැබෙන් පිටවෙද්දි. . . . .

නුබේ දුරස් බවේ දුක

හිත පුරා කකියද්දි. . . . .

කුමට පද ගලපන්නද

මම. . . . .

නුබ මගේ ලග නොමැති. . . . .

මගේ කවි